Translate

Friday, June 22, 2012

ජාතිය ආගම සහ "ගොංපාට්"






බ්ලොග් එකක් පටන්ගන්නට සිතක් තිබුනේ සෑහෙන කාලෙක ඉඳන් උනත් නිමිත්තක් හොයාගන්න බැරුව කල් දදා ඉන්නට උනා. අද උදේ ෆේස්බුක් එකේ වැඩක් නැතුව සැරිසරනකොට කියවන්න ලැබුන තවත් බ්ලොග් එකක් නිසා නිමිත්තක් පහල උනා. ඒ බ්ලොග් එක මොකක්ද කියන එක නමින් කියන්න අකමැති තවත් ඒකට ප්‍රසිද්ධියක් ලබාදෙන්න තියෙන අකමැත්ත නිසාත් තවත් කෙනෙක් ගැන මගේ විවේචනයක් මූනට කියන එක නුසුදුසු බව හිතීමත් කියන කරුණු දෙක නිසා. මේ බ්ලොග් එක දිගටම ලියාවිද නැත්නම් මේක එකම පෝස්ට් එක වේවිද කියන එක කාලය තීරණය කරාවි. නමුත් මේ කරුණු ටික කියාගන්න තියෙන ඕනෑකම නිසා බ්ලොග් එකක් පටන්ගන්නට හිතුවා.

උදේ පාන්දර ෆේස්බුක් එකේ තිබුන ලින්ක් එකකින් ගිය බ්ලොග් එකේ තිබුනා රාවණ රජතුමා ගැන විසාල කතාවක්. කියවපු අය දන්න බව විශ්වාසයි මොකක්ද මේ කියල. රාවණ රජතුමා ඇමෙරිකාවේ ලෝක වෙලඳ මධ්‍යස්තානයේ ප්‍රහාරයට සම්බන්ධ වෙන විදිහත්, එංගලන්තයේ ආතර් රජතුමා ලංකාවේ කෙනෙක් බවත්, හිට්ලර් සිංහලයෙක් බවත් ආදී කරුණු ගැන විසාල විස්තරයක් සහිත පෝස්ට් කීපයක්ම කියවන්න ලැබුන. ඒ කතාවේ තියෙන සමහර පොඩි පොඩි දේවල් වල යම් කිසි සත්‍යතාවක් තියෙන්නට හැකියාවක් ඇති බව දැනුනත් ඒවායින් බහුතරය තේරුමක් නැති දේවල් විදිහටයි මට පෙනුනෙ. මුල්ම පෝස්ට් එක කියවගෙන යද්දි ඒවල යම් කිසි සත්‍යතාවක් හිතට දැනුන. නමුත් දෙවන තුන් වල පෝස්ට් කියවනකොට මට නම් හිතුනේ මේ දේවල් යම් කිසි පුද්ගලයෙක්ගේ මනසේ ඇඳුන දෙයකට වඩා වෙනත් කිසිම වැදගත්කමක් නැති දෙයක් බවයි.

ඒ අතරම නෙත් එෆ්.එම් එකේ බැලුම්ගල වැඩසටහනේ කතා කරපු "බුදුහාමුදුරුවන් ලංකාවේ ඉපදුනා" යැයි කියාගන්නා පිරිසක් ගැනත් අහන්න ලැබුනෙ අද උදේමයි. ඒකත් මේ පෝස්ට් එක ලියන්න හේතුවක් උනා. ඔවුන් ලංකාවේ විවිධ ස්ථාන නම් කරමින් ඒවා විසාලා මහනුවර බවත්, ඉසිපතනය බවත්, දෙවුරම් වෙහෙර බවත් ප්‍රකාශ කරනව. මිහිඳු හිමියන් ලංකාවට ගෙන ආ බුදු දහමක් නැති බවත් පොසොන් පොහොය බොරුවක් බවත් ඔවුන් ප්‍රකාශ කරනව. මේ කිසිම පුද්ගලයෙක් කියන කරුණු ඔප්පු කරන්නට කිසිම සාධකයක් ඔවුන් සතුව නෑ. තත්වය එහෙම උනත් ඒවා පිලිගනිමින් ඔවුන්ගේ අනුගාමිකයන් බවට පත් වෙන පිරිස නම් පුදුමසහගත ලෙස විශාලයි. මට හැඟුන අන්දමට නම් මේ මතය පිලිගන්නා සිංහල බෞද්ධයන් පිරිස ලක්ශ ගණනක්. මේ වගේ මත පතුරන්නේ බුදුදහම වනසන්නට දත කන අන්‍යාගමිකයින් හෝ මූලධර්මවාදීන් කියල අත පිහදාගන්න අපට බෑ. මොකද මේ දේවල් වල අනුගාමිකයන් බවට අවසානයේ පත් වන්නේ අන්‍යාගමිකයින් නොවන නිසා.

මේ රාවණ රජු පිලිබඳව කරුනු ගේන පුද්ගලයාත්, මීවණපලානේ සිරිධම්මාලංකාර ස්වාමීන් වහන්සේත් යන දෙදෙනාටම ඔවුන්ගේ කාරණා පිලිබඳව තියෙන්නේ එකම පැහැදිලි කිරීමක්. ඔවුන් දෙදෙනාගේම අදහස නම් ඔවුන් යම් කිසි ධ්‍යානයකට සමවැදී මේ කරුණු හොයාගත් බව. බමුණන් විසින් පුස්කොලපොත් ගිනිතැබූ නිසා මේවා ඔප්පු කිරීමට ලිඛිත සාධක නැති බවත් ඔහු අතීතයට ගොස් බමුණන් ගිනි තබන්නට කලින් ඒවා කියවා සටහන් කරගෙන එන බවත් රාවණ රජු ගැන පවසන පුද්ගලයාගේ කතාවේ සඳහන්.නමුත් මේ කිසිම පුද්ගලයෙකුට කිසිම ආකාරයකින් ඔවුන්ගේ මත ඔප්පු කිරීමේ හැකියාවක් ඇති බව මගේ නම් විශ්වාසයක් නෑ. නමුත් මේ පැහැදිලි කිරීමේ ක්‍රමයේ තිබෙන අනිත් පැත්ත තමයි කිසිම කෙනෙකුට මේ පුද්ගලයන් බොරු කියන බව ඔප්පු කිරීමේ හැකියාවකුත් නෑ. ඊට හේතුව ලෙස මම දකින දේ තමයි ඔවුන්ට ඔවුන්ගේ පැහැදිලිකිරීම තමන්ට රිසි අයුරින් වෙනස් කිරීමේ හැකියාව. මම ඔබට කිව්වොත් මගේ ගේ ඇතුලේ මකරෙක් සිටින බව, හැමෝම කියාවි පෙන්නන්න කියල. නමුත් මම කිව්වොත් ඌ පියවි ඇසින් පේන්නෙ නැති එකෙක් බව, කාටවත් මම කියන්නෙ ඇත්ත බව පිලිනොගත්තත් මම බොරු කියන බව ඔප්පු කරන්න බෑ. මේ ධ්‍යානයකට සමවැදීමත් අන්න ඊට සමාන දෙයක් ලෙසයි මම නම් දකින්නේ.

මට හිතට නැගෙන ලොකුම ප්‍රශ්ණ වලින් එකක් නම් මේ පුද්ගලයන්ගෙන් ප්‍රශ්ණ කරන හැම වෙලාවකම ඔවුන් ලබා දෙන පිලිතුරු දැක දැකත් ඔවුන් පසුපස යන අය ගැනයි. ඇත්ත, ඔවුන් බොරු කියන බව මට ඔප්පු කරන්න බෑ. රාවණ රජු ගැන කතා බොරු බව මට ඔප්පු කරන්නත් බෑ. නමුත් ඔවුන්ගෙන් ප්‍රශ්න අහන විට ඔවුන් දෙන පිලිතුරු තමයි "මට ඒ රහස හෙලි කරන්න බෑ", "මගේ පසුබිමෙන් කිසි කෙනෙකුට වැදගත්කමක් නැති නිසා ඒවා හෙලිකිරීම ඵලක් නැති දෙයක්", "මීට අදාල ලිපි ලේඛණ අහවල් රටේ අහවල් කෞතුකාගාරයේ විශේෂ ආරක්ශාවක් යටතේ තියෙන්නේ" වැනි දේවල්. එහෙමත් නැතිනම් "උවමනාවක් ඇති අය ගිහින් හොයාගන්න" කියන එකත් තවත් පිලිතුරක්. මගෙ පෞද්ගලික අදහස නම් ඒවා ප්‍රශ්ණ මගහැරීමක් මිස වෙනත් දෙයක් නොවන බවයි. මේවා දකිමින් සහ අහමින් තවත් ඒවා උනන්දු කරන සහ ඒවා වැලඳගන්නා පිරිසක් අපි අතර සිටීම කණගාටුවට කරුණක් බව මගේ මතයයි. ඉහත සඳහන් බ්ලොග් එක හිමිකරු සහ අනිත් සිවුරු ලාගත් පුද්ගලයා සමාන කිරීමට මා උත්සාහ නොකලත් ඔවුන් කියන කතාවල තියෙන සමානකම් අමුතුවෙන් හුවාදක්වන්නට අවශ්‍ය යැයි මා සිතන්නේ නෑ.

මා කියවූ බ්ලොග් පිටුවට අනුව හිට්ලර්ගේ මුතුන් මිත්තන් සිංහලයන්ලු. හිට්ලර්ගේ නාසි කියන වචනය නායක සිංහල යන්න මූලික කරගෙන හැදුනු එකක්ලු. සබ්මැරීන් යන්න සිංහල වචනයක්ලු. රාවණ රජු චන්ද්‍රිකා අහසට යැව්වාලු. රාවණ රජු මයික්‍රෝ චිප් හැදූ බවත්, ඒවා සොයාගත් පසුව මේ පුද්ගලයාව ඇමෙරිකාවේ සී.අයි.ඒ එකෙන් ගෙනගොස් ප්‍රශ්ණ කල බවත් ඔහු ප්‍රකාශ කරනව. ඒ මයික්‍රෝ චිප් එක ලඟ තබාගත් පමණින් ඔහුගේ කම්පියුටරය වේගවත් වන බවත්, එය රේඩියෝ ඇන්ටෙනාවේ සවි කල විට ලෝකයේ සියලුම රේඩියෝ චැනල් අහු වෙන බවත් ඔහු කියනව. අවාසනාවට ඒ මයික්‍රෝ චිපයක ඡායාරූප ගත්තත් එය කැමරාවේ සටහන් නොවන බවත් ඔහු පවසනව. ඒ වගේම ඇල්බට් අයින්ස්ටයින් ලංකාවෙන් පුස්කොලපොත් හොරාගෙන ගොස් ඒවා කියවා නව සොයාගැනීම් කල බවත් මේ කතාවල සඳහන්. ඔහු සෑම ඉංග්‍රීසි වචනයකම සෑම අකුරක්ම සිංහල වචනයක මුල අකුරක් බව අපූරු වචන හරඹයකින් පෙන්වාදෙන්නත් උත්සාහ කරනවා. මේ වගේ විශ්වාස කරන්නට අපහසු කරුණු විශාල ප්‍රමාණයක් ඒ බ්ලොග් පිටුවේ තිබුන. මේ දේවල් බොරු බව කියන්නට මට අයිතියක් නැති උනත් මේවා වල සත්‍යතාව ප්‍රශ්ණ කරන්නට අයිතියක් ඇති බව මගේ හැඟීමයි.

තවත් මගේ සිත ඇදගත් කාරණයක් ඒ බ්ලොග් එකේම කමෙන්ටුවක සටහන් වී තිබුන. එක වගේ කුරුල්ලන් එක අත්තේ වහන නිසා ඔවුන්ට උඩගෙඩි දෙන්නන්ද ඔවුන්ව නිරායාසයෙන්ම හොයාගන්නවා ඇති. ඒ පුද්ගලයාට අනුව බුදු දහම යනු "දෙමලුන් විසින් සිංහලයන් වනසන්නට ගෙනත් දැමූ මිරිඟුවක්". ඔහුට අනුව තේමිය නම් සිංහලයා ගිය තෙමේ හෙවත් ගෝතම ලෙස හැඳින්වුනු අතර දෙමලුන් විසින් ඒ පුද්ගලයා ඈඳමින් නිවන නම් බොරු අදහසක් ලංකාවට ගෙනත් අතහරී. සිදට් නමින් හඳුන්වන මිනිසත්කම ප්‍රතික්ෂේප කල පුද්ගලයෙකුගේ ධර්මයක් මිස ඊට වැඩි යමක් බුදු දහමේ නැති බව ඒ පුද්ගලයාගේ හැඟීමයි. මේවා තවත් කෙනෙක් කාගේ හරි "ගොං පාට් එකක්" කියා අහක බලාගත්තත් බෞද්ධයෙක් වශයෙන් බුදු දහම වෙනුවෙන් වචනයක් හරි කතා කිරීම මගේ හිතට සහනයක්. නමුත් මෙවන් මිත්‍යාදෘෂ්ටිකයන් සමග වාද කරන්නට යාමත් තේරුමක් නැති දෙයක්.

මේ පුද්ගලයන් තිදෙනාම කියන කරුණු ගැන නැවත නැවතත් කියන්නට හැකියාවක් තිබුනත් ඒක අනවශ්‍ය බව හැඟෙනවා. සිංහල බ්ලොග් කියවන්නන්ගෙන් බහුතරයක් මේ කියන බ්ලොග් පිටුව කියවා ඇති බව මම අනුමාන කරනව. මොවුන්ගේ පරමාර්ථය ජාතිවාදය ඇවිස්සීමද, නැත්නම් ජාතිය ආගම විහිලුවක් කිරීමද, මුදල් ඉපයීමද, එහෙමත් නැත්නම් මේක ඔවුන්ගේ මානසිකත්වයද කියන එක මට ගැටලුවක්. ඇසින් පැහැදිලිව පෙනෙන්නට තියෙන දෙයට වඩා නොපෙනෙන දෙය ගැන විශ්වාස කිරීම මනුෂ්‍ය ස්වභාවය විය හැකී. ඔවුන් පසුපස යන අපේ මිනිස්සුන්ගේ දුර්වලකම ඒක විය හැකී. මේක ගණන් ගන්නට තරම් දෙයක් නොවන බව කෙනෙකුට හිතෙන්නට පුලුවන්. නමුත් අද ලංකාවේ දෙවුරම් වෙහෙර හොයන දහස් ගණන් බෞද්ධයන් හෙට රාවණ රජු ලෝක වෙලඳ මධ්‍යස්තානයට පහරදුන් බව පිලි ගන්නා සිංහලයන් බවට පත් නොවේ යැයි කිව හැකිද?

සිංහලකම ඇගයීමේ කිසිඳු වරදක් මා දකින්නෙ නෑ. සිංහලයන් යනු අභිමානවත් ජාතියක් යන්න පිලිබඳව මගේ වාදයක් නෑ. නමුත් ඒ ජාතිය තුලට දහස් ගණන් ජීවිත නැති කල මිනීමරුවන් ඇද දමමින් සාධක නොමැතිව පුහු තර්ක ඉදිරිපත් කරමින් බුදු දහමටත් නිගා කරමින් නටන නාඩගම පිලිබඳව මගේ හිතට එන්නේ කලකිරීමක්. ඒ වගේම බුදුදහම විකුනාගෙන කමින් අවුරුදු දහස් ගණනක ඉතිහාසයට අවනම්බු කරමින් කරන නාටක සහ ඒවා පසුපස යන මිනිසුන් ගැනත් ඇති වෙන්නේ කලකිරීමක්. සිංහලයන් ලෝකය ඉදිරියේ විහිලුවක් බවට පත් කරන්නට දරන උත්සාහයක් ලෙස මේක හඳුන්වන්නටත් සාධාරණ හේතු ඇති බව මගේ හැඟීමයි. අපේ ජාතියට අපේ ආගමට වින කරන්නට බලන් ඉන්න පරදේශක්කාරයන්ට සහ අන්‍යාගමිකයින්ට පැලැස්තර ගසන්නට කලින් ආගම ජාතිය වනසන (අ)සිංහල (අ)බෞද්ධයන්ට පිළියම් කළයුතු බව මගේ හැඟීමයි.







11 comments:

  1. මචන් චිම්පා මේ වගේ දේවල් ගැන එච්චර හිතන්න යන්න එපා බන්

    ReplyDelete
    Replies
    1. ඒ කියල තිබ්බ ඒව දැක්කම මේක ලියන්න හිතුන මචං. අනිත් අතට මේව ගැන නොහිත හිටියොත් අපි දන්නෙත් නෑ අපිම වලපල්ලට යනකන්. එක එක්කෙනාගේ මත වෙනස් වෙන්න පුලුවන්. කොහොම උනත් මේ මගේ පෞද්ගලික මතය :)

      Delete
  2. මමත් ඒ බ්ලොග් එක දැක්කා... මට ඒක මහ අප‍්‍රසන්නයි.... කියවන්න හිතුනෙම නෑ... පොඩි උන්ට පවා තේරෙනවා ඒකෙ තියෙන දියාරු තර්ක... මොඩයි කියලා... මම දන්නෑ ඇත්ත කරුණුත් ඇති... නමුත් මට ඒක කියවන්න වෙලාව නාස්ති කරන්න හිතුනෙ නෑ... බලන්නෝ නුවණින් විමසා බලත්වා... බුදු දහමෙ අරුත හරියට දන්න එවුන් අන්දන්න අමාරුයි... එහෙම නැති උන් ඉහල ගියත් එකයි පහල ගියත් එකයි....
    උඹ කියපු එක දේකට මම එකග වෙන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. උඹ එකඟ නොවෙන එකට මාත් එකඟයි සෑහෙන දුරකට. සිංහලයා තවදුරටත් අභිමානවත් ජාතියක්ද කියන එක ප්‍රශ්නයක් තමයි.

      Delete
  3. මචං පින්සිද්ද වෙයි වෙරාෆිකේෂන් අයින් කරපන්

    ReplyDelete
  4. අඩේ උඹ බ්ලොගේ! එළ එළ ලියහන් දිගටම චිම්පෝ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මාත් බ්ලොගේ..කාටද ආඩම්බර..

      Delete
  5. රාවණා ගැන පුරාවෘත්ත විකාරයක් කියල මමනම් හිතන්නෑ... ඉන්දියානු සාහිත්‍යය යකෙක් කළ රාවණාව අපේ උනුත් යකෙක් ලෙස දැකීම ඉන්දියානු ගැතිකමේ ලකුණක්... ඔලු 10ක් තිබුන කියල මිත්‍යාවක් කරන රාවණා ඇත්තෙන්ම රාජධානි 10ක පාලකයෙක් කියන දේ මම විස්වාස කරන්නෙ... ඒක දැනට සනාථ උනු මතයයි...සීතා උස්සගෙන ඇවිත් තියාගත්තෙ ඇඟේ අමාරුවකටනම් නොවෙන බව සහතිකයි මොකද සීතාගේ පතිවතද මොකද්ද ඉවර කොරන්න බැරිකමක් රාවණාට තිබ්බෙ නෑ... සාහිත්‍යයට අනුව ඒක රාවණගේ සහෝදරීට කරපු හානියකට පළිගැනීමක් බවයි මට මතක... එහෙම කියන්නෙ ඉන්දියානු සාහිත්‍යය...රාවණ සීතා කතාව ගැන දුකා අයියද මන්ද ලියල තිබුනත් මතකයි...
    රාවණා උඩින් ගියබව ඉන්දියාවත් පිළිගන්න එක ලොකු දෙයක්...

    මොනා උනත් අර කියපු බ්ලොගේ මොංගල් කතා ලියපු එකානම් අනිවාර්යයෙන් පිස්සෙක්... ධ්‍යානයකට සමවැදිල කතා කරන ගොඩක් අයගෙ පැටිකිරිය අපි නොදැකල නෑනෙ... ඉතිහාසය මිනිස්සු හොයන්නෙ තමන්ගෙ අක්මුල් දැනගන්න.... තමන් ආවේ කොහෙන්ද නොදැනීම මදිකමක් නිසායි මිනිස්සු ඉතිහාසෙ හොයන්නෙ.. නමුත් ඔයවගේ කොනක් නැති අගක් මුලක් නැති එකෙක් වගේ තමන්ගේ ආගම ජාතියට අපහාස කරද්දී අන්තවාදීන් යයි ගරු නම්බුනාම ලබන සහජීවන කාරයන් නොවෙන තමන්ගේ ඉතිහාසය සංස්කෘතියට ආදරේ උන්ගේ ලේ රත්වීම ස්ව්භාවිකයි... මේ පෝස්ට් එක මමනම් අගය කරන්නේ පිරිසිදු සංස්කෘතියක් එකේක අනුපාතවලින් අනම් මනම් දාල අච්චාරු කිරීම හෙළා දකින්නෙක් හැටියටයි...

    ReplyDelete
    Replies
    1. රාවණා ගැන කතා බොරු බව මම හිතන්නෙත් නෑ. මොකද ඒව කාගෙ හරි ප්‍රබන්ධයක්නම් රටවල් දෙකක මිනිස්සු එකම කතාවක් කියන්න විදිහක් නැති බව මගේ පිලිගැනීම. ලෝකේ සියලුම සොයාගැනීම් පුස්කොලපොත් වල පටවල සිංහලකම විහිලුවක් කරන්න දඟලන හැටි දකිද්දි ලේ කෝප වීම සාධාරණයි කියල හිතනව මම.

      සිංහලයො කියන්නෙ රෞද්‍ර සහ මිනීමරු ජාතියක් ලෙස හංවඩුගහන්න හදන එක මම හෙලා දකිනව. යක්ෂ හා නාග ගෝත්‍රිකයන් කියන්නෙත්, යක්ෂ, රාක්ෂ, දේව ගණ කියන්නෙත් අපි කතා කරන යක්කු හෝ නාගයන් බවට පත් වන මිනිස්සු හෝ දෙවියන් හෝ නොවන බවයි මගෙ පිලිගැනීම. සිංහලයන් යුද්ධයට දක්ෂ සහ වීර ජාතියක් මිසක් මිනීමරු ජාතියක් ලෙස දකින්න මම කැමති නෑ.

      Delete
  6. අම්මපා චිම්පා උඹට

    වර්ගපූර්නිකාව කියන්නෙ මොකද්ද,
    මොකද්ද ඒකෙ තියන උත්ප්‍රාසය,
    කාටද සහ මොකටද ඒ රචකයා පහර දෙන්නෙ

    කියන දේවල් තේරුං ගන්න බැරිවෙච්ච එක ගැන මට පට්ට දුකයි බං

    ReplyDelete